බුදුරදුන්ගේ මගපෙන්වීමෙන් අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබූ ආයුවඩ්ඩන කුමාරයා.


දවස් හතකින් මියයාමට නියමිතව සිට බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම නිසා පිරිතේ බලයෙන් අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබූ ආයුවඩ්ඪන කුමාරයා.

පින්වත් දරුවනේ, සිල්වතුන් ගුණවතුන් උදෙසා පුදසත්කාර කිරීම තුළ අපගේ ජීවිතවලට අග්‍ර වූ පින් රැස් වෙනවා.ඒ තුළින් ආරක්ෂාව රැකවරණය සැලසෙනවා.සමහර විට පින් රැස් කරනා කෙනා ඒ පින නිසාම ලොකු අනතුරු වලින් මිදෙනවා.

පින්වත් දරුවනේ, අපගේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි.ඒ බුදු කරුණාව නිසා ලෝකයේ බොහෝ දෙනාට යහපත ඇති වුණා.මෙවර ඔබ අතට පත්වන්නේ බුදු කරුණාව නිසා සැපයට පත් වූ එවැනි පුංචි දරුවෙක් ගැනයි.

දවස් හතකින් මියයාමට නියමිතව සිටි පුංචි කුමාරයෙක්, බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම නිසා අවුරුදු එකසිය විස්සක් දිගාසිරි ලැබුවා.ඒ නිසාමයි ඔහු "ආයුවඩ්ඪන කුමාරයා" නමින් ප්‍රසිද්ධ වුණේ.

සත්වයන්ට තම ආයුෂ වැඩෙන්නත් කාරණා තියෙනවා.ඒ විතරක් නෙවෙයි සිල්වතුන් හට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලු පවා නැති වෙනවා.ආයුෂ, වරණ, සැප, බල කියන කාරණාත් දියුණු වෙනවා.

ඒ නිසා ඔබත් උතුම් තිසරණයම රැකවරණය කරගන්න.ඒ වගේම නිතරම පින් රැස් කරගෙන ජීවිතය පිනෙන් පුරවා ගන්න.

ඔයාලට තෙරුවන් සරණයි !

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

(සම්පුර්ණ කතා පුවත අදාළ චිත්‍රයද සමග පහතින් - Himali H. Samarajeewa).


පින්වතුනි, පින්වත් දරුවනේ,

අපට මේ ජීවිතයේදී ලැබී තිබෙන සෑම යහපත් දෙයටම මුල් වෙලා තියෙන්නේ පිනමයි.පින් රැස් කරන කෙනා ලොකු අනතුරුවලින් මිදෙනවා.කරදරවලින් බේරෙනවා.යහපත උදා කර ගන්නවා.පින් රැස් කිරීම හේතුවෙන් භයානක අනතුරකින් මිදී යහපතක් උදා කරගත් පින්වත් කුමාරයකු ගැනයි මේ කතාවෙන් කියැවෙන්නේ.

ඉස්සර දඹශිව 'දීඝලංඝික' කියලා එක්තරා නගරයක් තිබුණා.එහි වාසය කළ බ්‍රාහ්මණවරු දෙදෙනෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණා.හත්ළිස් අට අවුරුද්දක් තපස් රැක්කා.ඔවුන් අතරින් එක්කෙනෙකුට මෙහෙම හිතුණා.'මේ බ්‍රාහ්මණ වංශය ලෝකයේ උතුම් වංශයක්.ශ්‍රේෂ්ඨ පරපුරක්.මම මේ විදිහට තපස් රැකගෙන හිටියොත් මේ වංශය රැකෙන්න මගෙන් උදව්වක් ලැබුණේ නෑ වෙනවා.ඒ නිසා මං දරුවෙක්ව මේ පරම්පරාවට ලබාදෙන්න ඕන...'

මෙහෙම හිතලා ඔහු බ්‍රාහ්මණ සමාජයේ මැදට ගිහින් මෙහෙම කිව්වා.


"එම්බා බ්‍රාහ්මණවරුනි, මං හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැකලා තියෙනවා.මහා බලසම්පන්න පින් රැස් කරගෙන තියෙනවා.දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්න දරුවෙකුත් බමුණු සමාජයට දායාද කිරීමේ ආසාවක් තියෙනවා.කවුරුන් හෝ මට ගවයන් සියයකුත්, මසුරන් සියයකුත්, මානවිකාවකුත් දෙනවා නම් මං මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුසස් ඔහුට අනුමෝදන් කරනවා."

මෙයට බමුණන් කැමති වුණා.ඔහු හිතපු දේ ඔහුට ලැබුණා.ටික දවසකින් මේ පවුලට දරු සිඟිත්තෙක් එකතු වුණා.මේ බමුණා සමග තපස් කළ අනෙක් බමුණා.මොහු වාසය කරන ප්‍රදේශයට පැමිණුනා.අලුත් බමුණු පවුලට හරි සතුටුයි.

"සොඳුරී...මගේ යහළු බ්‍රාහ්මණතුමා ඇවිදින් ඉන්නවා.අපි එතුමාව බලන්න යමු.අපේ දරුවාවත් එතුමාට පෙන්නමු."


ඉතින් මේ බමුණු ජෝඩුව තම පුතුත් රැගෙන තාපසතුමා බැහැදකින්න ගියා.ගිහින් දරුවා බැමිණිය අතට දීලා බමුණා වන්දනා කළා.බැමිණිය බමුණා අතට දරුවා දීලා වන්දනා කළා.දෙදෙනාටම "බොහෝ කලක් ජීවත් වේවා !" කියලා තාපසතුමා සෙත් පැතුවා.

ඊට පස්සේ දෙදෙනාම පොඩි දරුවා ලවා තාපසතුමාට වැන්ඳෙව්වා.එතකොට තාපසතුමා නිශ්ශබ්දව හිටියා.සෙත් පැතුවේ නෑ.ඒ ගැන බමුණා විමසුවා.

"අපි දෙදෙනා ඔබතුමාට වන්දනා කළා.දෙදෙනාටම සෙත් පැතුවා 'බොහෝ කලක් ජීවත් වේවා !' කියලා.නමුත් මේ දරු සිඟිත්තා ලවා ඔබතුමාට වන්දනා කරවද්දී ඔබතුමා මේ දරුවා දෙස බලාගෙන හිටියා විතරයි.සෙත් පැතුවේ නෑ.එයට විශේෂ හේතුවක් තියෙනවාද ?"

"ඔව් යහළුවා...මේ දරුවා සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් තියෙන බව පේනවා.මේ දරුවාගේ ආයුෂ අඩුයි වගේ..."


"ඒ කියන්නේ මේ දරුවා අවුරුදු කීයක් ජීවත් වේවිද ?"

"අවුරුදු ගණනක් කියන්න අමාරුයි.මට තේරෙන හැටියට නම් දවස් හතකට වඩා ජීවත් වෙන එකක් නෑ."

එතකොට දෙදෙනාම හඬන්න පටන් ගත්තා.

"අනේ..! තාපසතුමනි, එහෙම වෙන්න හේතුව මොකක්ද ? මේකෙන් බේරෙන්න පිළිවෙලක් නැද්ද ?"

"අනේ...යහළුවා, මේකේ හේතුව මට හොයාගන්න බෑ.මේකෙන් බේරෙන්න පුළුවන්කමක් තියෙනවාද කියලා මට තේරෙන්නේ නෑ.හැබැයි මං අහලා තියෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට වන්දනා කරගෙන බණ ඇසූ සක්දෙවිඳු මිනිස් ලොව ආයු ගණනින් තුන් කෝටි හැට ලක්ෂයක් අවුරුදුවලට ආයුෂ ලබාගෙන නැවත සක්‍ර තනතුරට පත් වුණා කියලා.මේ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණය විසඳාවී කියලයි මං හිතන්නේ."


"අනේ...ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපේ මේ තපස් ක්‍රම වලට එච්චර කැමැත්තක් නෑ නෙව.ඒ නිසා උන්වහන්සේ මේ ගැන සැලකිල්ලක් දක්වන එකක් නෑ."

"යහළුවා...මේ වගේ වෙලාවකවත් ඔය තපස් මාන්නය අතහැර ගනින්...! මේ ළමයා ගැන හිතපන්..! තපස ගැන පස්සේ හිතන්න බැරියැ..."

ඊට පස්සේ මේ දෙදෙනා දරුවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.පළමුවෙන්ම මේ දෙදෙනා වන්දනා කළා.බුදුරජාණන් වහන්සේ "බොහෝ කලක් ජීවත් වේවා !" කියලා ඒ දෙදෙනාට සෙත් පැතුවා.ඊට පස්සේ අර දරුවා ලවා වන්දනා කෙරෙව්වා.බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව හිටියා.

එතකොට අර බමුණු ජෝඩුව පුදුමයෙන් වාගේ එකිනෙකාගේ මුහුණු බලාගත්තා.කළබලයට පත් වුණා.


"අනේ ස්වාමීනි, අපට සෙත් පැතුවා වගේම මේ දරුවාටත් සෙත් පතන සේක්වා...!"

"පින්වතුනි, මේ දරුවාට ආයුෂ තියෙන්නේ සත් දවසකටයි.සසරේ වෛර බැඳගත් 'අවරුද්ධක' නම් යක්ෂයෙක් තව දින හතකින් මේ දරුවා සොයාගෙන එනවා.ඇවිදින් මොහුව බිලි ගන්නවා.මේ දරුවාට ඇති අනතුර මෙයයි."

අර දෙදෙනා මහ හඬින් විලාප දෙන්න පටන් ගත්තා.

"අනේ ස්වාමීනි, අපි ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි මේ දරු සිඟිත්තා හදාගත්තේ.අනේ අපට ඒ යක්ෂ උපද්‍රවයෙන් මේ දරුවාව බේරා දෙන සේක්වා..!"

"එහෙම නම් පින්වත්නි, ඔබ නිවසේ මණ්ඩපයක් තනවන්න.ආසන පිළියෙල කරන්න.මාගේ ශ්‍රාවකයන් මං ඔබ නිවසට වැඩමවලා දෙන්නම්.උන්වහන්සේලා මා විසින් ලෝකයාට හිතසුව පිණිස දෙසූ සූත්‍ර දේශනා සතියක් පුරාවට සජ්ඣායනා කරාවි.ඒ තුළින් රැස් වෙන පිනෙන් ආරක්ෂාව සැලසෙනවා.


ඉතින් අර බ්‍රාහ්මණයා තම නිවසේ බුදුරජුන් වදාළ අයුරින්ම කටයුතු කළා.දින හත ගෙවී යද්දී, අවසන් දිනයේදී බුදුරජාණන් වහන්සේත් වැඩම කළා.අනන්ත බුද්ධානුභාවය නිසා සියලු සක්වල දේවියෝත් පැමිණුනා.අර යක්ෂයාට අවසර දී තිබුණේ ඒ දිනයේදී බිලි ගැනීමට පමණයි.යක්ෂයා ඇවිදින් ඈතින් බලා සිටියා.ඔහුට කර කියා ගතහැකි කිසිවක් තිබුණේ නෑ.බුදුරජාණන් වහන්සේ දකින විට ඔහු බියට පත් වුණා.

'හප්පේ..! මං කොහොමද මේ නර පැටියාව බිලිගන්නේ...ලෝකනාථ වූ මහේශාක්‍ය වූ මහානුභාව සම්පන්න වූ ශාස්තෘන් වහන්සේ ළඟ නෙව අර නර පැටියා ඉන්නේ.බිලිගන්නවා තියා මට දොළොස් යොදුනකින්වත් එතැනට ළං වෙන්න පිළිවෙලක් නෑ.මට බිලිගන්න බැරි විදියට මොවුන් පින් රැක් කළා නෙව.කමක් නෑ..මං මේ වෛරය අත්හරිනවා.මේ බිල්ල ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ මමයි."

යකා යන්නම ගියා.


නැවත ආවේ නෑ.අට වෙනි දින උදේ අර දෙදෙනා දරුවා ලවා බුදුරජුන්ට වන්දනා කෙරෙව්වා.

"පින්වත් දරුව, ඔබට දිගාසිරි ලැබේවා !" කියලා බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා.

"අනේ භවත් ගෞතමයන් වහන්ස, අපේ දරුවා කොතෙක් කලක් දිගාසිරි විඳීද ?"

"පින්වත්නි, ඔබේ දරුවා අවුරුදු එකසිය විස්සක් දිගාසිරි විඳිනවා..."

එදායින් පසු මේ දරුවා 'ආයුවඩ්ඪන කුමාරය' ලෙස ප්‍රසිද්ධ වුනා.ඔවුන් සියලුදෙනා ඉතා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියා.ධර්මාවබෝධ කළා.

පස්සේ කාලෙක භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇති වුණා.

"ඇවැත්නි, හරි පුදුමයි නෙව, අර කුමාරයාට ආයුෂ තිබුණේ දවස් හතකටයි.දැන් ඒ ළමයා ලොකුවෙලා උපාසකවරු පන්සීයක් සමග පින්දහම් කරමින් වාසය කරනවා.මෙයින් පෙනෙන්නේ මේ සත්වයින් හට ආයුෂ වැඩිවෙන්නත් කාරණා තියෙන බවයි."


මෙය සැලවූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

"පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ.වීතරාගී ගුණවතුන්ට වන්දනා කරද්දී කරදර කම්කටොලුත් නැති වෙනවා.ආයුෂත්, වර්ණයත්, සැපයත්, බලයත් කියන මේ හතරම වැඩෙනවා."

එසේ වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවත් වදාළා.

අභිවාදනසීලිස්ස - නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්තී - ආයු වණ්ණෝ සුඛං බලං

සිල් දහම් වලින් සපිරී
වැඩිහිටි ගුණ නුවණින් යුතු
යහපත් උතුමන්ට යමෙක්
නිතර කරත් නම් වැඳුමන්
ආයුෂ සහ පැහැපත් බව
සැප හා බලයෙන් යුතු බව
යන මේ සිව් කරුණු ඔහුට
නිරතුරුවම ලැබෙන්නේය...

No comments:

Post a Comment

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.