සිංහරාජ ලෝක උරුමය විනාශයි…! මහ වනය එළිකර යහපාලනයෙන් විදුලි බලාගාරයක් හදයි!


සිංහරාජ කලාපයේ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇතැයි ‘වැසි වනාන්තර සුරකින්නෝ‘ සංවිධානය කියයි. එම සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

ලෝක උරුම සිංහරාජය වනසා ජලවිදුලි බලාගාරයක් ඉදිකරයි

සිංහරාජ ප්‍රේරක කලාපය තුළ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුවී ඇත. මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සිංහරාජ කුඩව ප්‍රධාන පිවිසුම් මඟ සිට කිලෝමීටර් 4ක් පමණ නැගෙනහිර දෙසින් සිංහරාජ මායිමට යාබද ප්‍රේරක කලාපය තුළ පිහිටා ඇති අතර කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින බැම්ම හා ගඟට යාබද ප්‍රේරක කලාපයේ වැසිවනාන්තරය බැකො යන්ත්‍ර යොදා එළිපෙහෙළි කිරීම නිසා මෙම සංවේදී පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ වී යමින් පවතී. ඊට අමතරව මෙම ඉදිකිරීම් වලට ගෙනැවිත් ඇති බැකෝ හා අනෙකුත් විශාල ට්‍රක් රථ ධාවනය සඳහා කුඩව සහ කොස්ගුලන අතර සිංහරාජ ප්‍රේරක කලාපයට අයත් කුඩා ගුරුපාරක් භාවිතා කර තිබේ. මේ නිසා ගුරුපාරට යාබද උතුරු ප්‍රදේශයේ රජුවන්කන්ද වැසිවනාන්තරයෙන් ඇරඹෙන දියපාර ගණනාවකට බරපතල හානි සිදුවී ඇති අතර සිංහරාජයට යාබද එහි ප්‍රෙරක කලාපයේ පිහිටි මෙම වැසිවනාන්තරය සිංහරාජයෙන් සහමුලින් වෙන්වී යාමේ දැඩි අවදානමකට පත්වෙමින් පවතී.

යුනෙස්කෝ ලෝක උරුම වැසිවනාන්තරයක් වන සිංහරාජයේ ප්‍රධාන පිවිසුම් ස්ථානයට සමීපව කෙරෙන මෙම වන විනාශය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගැනීම ඉමහත් ගැටලුවකි. මධ්‍යම පරිසර අධිකාරිය මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවක් හා මහජන අදහස් විමසීමක් කර නැත.ලෝක උරුම වැසිවනාන්තරයක් තුළ පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කර මෙවැනි විනාශකාරී ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ දීම අදාළ බලධාරීන්ගේ අසමත්කම මනාව පැහැදිලි කරයි. මෙම විනාශකාරී ක්‍රියාවලියට ඉඩ දීම නිසා සිංහරාජය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ.

මෙම කුඩා ජලවිදුලි බලාගාර වලින් ලැබෙන ඉතා සුළු මෙගාවොට් දෙකට අඩු විදුලිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ රැකගතයුතු ජල පෝෂක ප්‍රදේශවල පිහිටි දිය ඇලි හා ගංගා විනාශ කිරීම ජාතික අපරාධයකි.







No comments:

Post a Comment

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.